Thursday, July 8, 2010

හොඳ චිත්‍රපටි බලාගන්න ලේසි විදිහක්

ෆිල්ම්හෝල් වලට එන ඉංග්‍රීසි ෆිල්ම් අතලොස්සක් ඇරෙන්න අපිට ෆිල්ම් බලන්න තියන ලේසිම විදිහ, ටොරන්ට් හරි ස්ට්‍රීමින් සයිට් එකක බලන එක. ෆිල්ම් එක ගැන හොයන්නෙ බලන්නෙ නැතුව පැය ගානක් ඩවුන්ලෝඩ් කරාට පස්සෙ බලද්දී තමයි තේරෙන්නේ කිසි වැඩකට නැති ෆිල්ම් එකක් කියලා. ෆිල්ම් එකක් ගැන අනිත් අය කියන්නේ මොනවද කියල බලන්න ලේසිම/හොදම තැන තමයි imdb - internet movie database එක. මෙතන තියනවා හැම ෆිල්ම් එකකම වගේ විස්තර. මම බලන්නේ user rating එක 6 ට වඩා වැඩි ඒවා. ඕනනම් ඉතින් imdb පිටුවේ පහලම තියන බලලත් ෆිල්ම් එක ගැන වැඩි අදහසක් ගන්න පුලුවන්.
හැබැයි ටොරන්ට් සයිට් එකට ගිහිල්ලා ෆිල්ම් එකේ නම කොපි කරගෙන ආපහු ඒක imdb එකේ හොයන එක ටිකක් කම්මැලි වෙලායන වැඩක්. (ගුගල් ක්‍රෝම් එකේ නම් නම සිලෙක්ට් කරලා රයිට්ක්ලික් කරාම එන මෙනු එකෙන් search google for... තෝරලා google search පිටුවට ගියාම එන පලවෙනි රිසල්ට් එක ෆිල්ම් එකට අදාල imdb පිටුව). කොහොමහරි මේ වැඩේ බ්‍රව්සර් එකේ එකම ටැබ් එකක කරන්න පුලුවන් නම් ලේසී කියල මට හිතුනා. එතකොට මට මතක් උනා smashingmag එකේ තිබුන ලිපියක්. පොඩි වෙනස්කම් ටිකක් කරල imdb එකට හරියන්න හදාගත්තා. tgunasekara.com/playground/imdb/ මෙහෙමයි පාවිච්චි කරන්නේ..
මුලින්ම tgunasekara.com/playground/imdb/ පිටුවට ගිහිල්ලා check movie කියල තියන ලින්ක් එක බ්‍රව්සර් එකේ bookmarks bar එකට drag කරගන්න.
bookmarks bar එකේ 'Check movie' කියලා අලුත් ලින්ක් එකක් පෙනේවි.
දැන් තමන් කැමති ටොරන්ට් / ස්ට්රීමින් සයිට් එකේදී මේ bookmarklet එක පාවිච්චි කරන්න පුලුවන්.
මම හුගක් වෙලාවට යන්නේ quicksilverscreen. ෆිල්ම් එකේ නම සිලෙක්ට් කරලා bookmark bar එකේ 'Ckeck movie' ක්ලික් කරන්න.
දැන් ඒ ෆිල්ම් එකට අදාල විස්තරය එම ටැබ් එකේම පෙනේවි.
මේ විදිහට ටොරන්ට් සයිට් එකක වුනත් ඉක්මනින් imdb විස්තර බලාගන්න පුලුවන්. කරන්න අවශ්ය නම තෝරලා 'Check movie' ක්ලික් කරන එක විතරයි.

Friday, May 14, 2010

ව්‍යායාම සහ css වගුවේ කතාව

උදේ ඉදන් හවස් වෙනකනුයි පස්සෙ ගෙදර ගියාමයි කරන එකම වැඩේ කම්පියුටර් ගැහිල්ල නිසා ඇගට කිසිම ව්‍යයාමයක් නෑ. විහිලුවට වගේ බර කිරල බැලුවහම කිලෝම 73ක්. BMI එක බැලුවහම බර වැඩියි.

BMI එක කිව්වේ Body mass index. පොඩි කාලෙ ඉස්කෝලෙ ඉගනගත්තෙ. වැඩි විස්තර ඕනනම් මේ විකිපීඩියා පිටුව බලන්න.

මේක හොයන්නේ බර, උසේ වර්ගයෙන් බෙදලා.

බර / උස x උස

මේ ගාන හදල බැලුවම නීරෝගී පුද්ගලයෙක්ගේ 18.5 - 24.9 අතර උත්තරයක් එන්න ඕන. මොකක් හරි ඇක්‍ෂන් එකක් ගත්තෙ නැතොත් වැඩේ අල වෙන නිසා හිතුනා ටිකක් දුවන්න ඕන කියලා. ඔෆිස් එකට ගිහින් ඔය කතාව කිව්වම තමයි මීටර් උනේ කට්ටියට ම තේරිලා කියල ඇගට ව්‍යයාමයක් අවශ්ය බව. උදේම නැගිටලා දුවන එක කෙරෙන්නෙ නැ වැඩක් නිසා කට්ටියම එකග වුනා දවසක් ඇර දවසක් ඔෆිස් ඉවර වෙලා හවස ඔෆිස් එක ගාව ඉදන් පාර්ලිමන්ට්ග්‍රවුන්ඩ් එකට දුවල පන තිබ්බොතින් ග්‍රවුන්ඩ් එකෙත් වටයක් දුවල ආපහු ඔෆිස් එකට එන්න. හැබැයි හුගක් දවසට මුලින් දුවන්න කැමතිවලා හිටපු කට්ටියටත් ඇදුම්, සපත්තු එහෙම ගේන්න අමතක වෙනවා. කොහොමහරි මමයි තව එක්කෙනෙකුයි තමයි හැමදාම වගේ අන්තිමේදි වැඩේට සෙට් වෙන්නේ.

දවසක් ඇර දවසක් දිව්වා කියමුකෝ. ප්‍රෝග්‍රස් එක බලන්න විදිහකුත් එපැයි. වෙබ්සයිට් නම් ඕනතරම් තියනවා වැඩේ කරන්න. ඒත් මට හිතුනා මම ම වගුවක් හදාගන්න ඕන කියල වැඩේට. Google Chart API එකෙන් නම් ලේසියෙන්ම හදන්න පුලුවන් චාට්. ටිකක් කල්පනා කරාම හිතුනා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම මරාගන්නත් එක්ක වැඩේ ටිකක් වෙනස් විදිහට කරන්න.

ප්ලෑන් එක තමයි ඉමේජ් පාවිච්චි කරන්නෙ නැතුව css, html, js පාවිච්චි කරල චාට් එක ඇදීම. මුලින්ම එන ප්‍රශ්නෙ ඇද ඉරි අදින එක. කැන්වස් එකෙන් වැඩේ ලේසියෙන් කරන්න පුලුවන් උනත් මම පාව්ච්චි කරා වෙන ක්‍රමයක්.

ඩිව් එකක් තියනවා.
div


ඒකට අපි ට්කක් ලොකු රතුපාට බෝඩර් එකක් දානවා.
div


දැන් අපි බෝඩර් වල පාට වෙනස් කරලා බලමු. උඩට ,යටට කොලපාට පැත්තට රතුපාට.
div
පේනවා නේද උඩයි පැත්තෙයි බෝඩර් සෙට්වෙන තැන්වල ඇල හැඩයක්. ඒ හැඩේ තමයි මම පාවිච්චි කරේ ඇද ඉරි වලට. උදාහරනයක් විදිහට මේ කොටුවෙම වම් පැත්තේ සහ උඩ බෝඩර් විතරක් තියලා පලල 0 කරලා උඩ බෝඩර් එක සුදුපාට කරොත්
div


ඊට පස්සේ දවසින් දවස බර අරගෙන ලිස්ට් එකක දැම්මම ස්වයංක්‍රීයව වගුව ඇදෙන්න jQuery වලින් ප්ලගින් එකක් හැදුවා. මෙතනින් බලන්න (උදාහරණයක් විතරයි, තියන දත්ත වැරදියි). කොලපාටින් පේන්නේ ක්‍රමයෙන් අඩුවීම, රතුපාටින් වැඩිවීම. එහෙමයි කිසිම පින්තූරයක් පාවිච්චි නොකර css වලින්ම වගුවක් හැදුවේ

Tuesday, February 16, 2010

සින්ඩියේ ඉදිරි ගමන

මම දකින විදිහට සිංහල යුනිකේතයෙන් බ්ලොග් ලියන්නන්ගේ බ්ලොග් ලිපි වලට පුලුල් පාඨක පිරිසක් ලගාකර ගැනීමට සින්ඩියෙන් සිදුවන්නේ මනා සේවයක්. තාක්ෂනික, ආගමික දේශපාලනික ආදී නානාවිද බ්ලොග් අඩවි වල ලිපි සින්ඩියේ පලවනවා. ඒ වගේම බ්ලොග් කියවන පාඨක පිරිසත් විවිදයි. සමහරු කැමති තාක්ෂනික දේවල් තියෙන බ්ලොග් බලන්න. සමහරු දේශපාලනික අදහස් ලියන බ්ලොග් වලට කැමතියි. බ්ලොග් අඩවි වර්ගීකරණය කිරීම මගින් කියවන්නන්ට තමන් කැමති ආරේ බ්ලොග් අඩවි කියවීමට අවස්ථාව ලැබෙනවා. උදාහරණයක් වශයෙන්, දේශපාලනික බ්ලොග් අඩවි කියවීමට කැමති නම් http://blogs.sinhalabloggers.com/political/ බුක්මාර්ක් කරගන්න පුලුවන්. තාක්‍ෂනික බ්ලොග් වලට http://blogs.sinhalabloggers.com/technology/ මේ ක්‍රමය කියවන්නන්ට පහසුවක්.
දැනට ඇති ප්‍රධාන ගැටලු
  • බ්ලොග්කරුවෙකුට තෝරාගත හැක්කේ කැටගරි දෙකක් පමණයි.
    • මෙම වර්ගීකරණය බ්ලොග් වශයෙන් නැතිව ලිපි වශයෙන් කරන්න පුලුවන්නම් වඩා හොදයි. නමුත් දැනට ඇති තාක්ෂනික ගැටලු සමග අඩු වියදමකින් මෙය කරන අයුරක් සොයාගත යුතුයි. බොහොමයක් බ්ලොග් එකම තේමාවකින් ලිපි පලකලත් සමහර බ්ලොග් විවිද තේමා වල ලිපි ලිවීමේදී දැනට තිබෙන ක්‍රමය අනුව ලිපි අදාල කැටගරියේ පල නොවීම ගැටලුවක්. උදා: තාක්ෂනික බ්ලොග් අඩවියක්ලෙස වර්ගීකරණය වී ඇති බ්ලොග් අඩවියක දේශපාලනික කරුණක් ගැන ලිපියක් ලියැවුනොත් එම ලිපියත් පලවන්නේ තාක්ෂනික කැටගරියේමයි.
  • මුල් පිටුවේ සෑම කැටගරියක්ම නොපෙන්වීම
    • සින්ඩියේ මුල්පිටුවේ මෙලෙස සමහර කැටගරි නොපෙන්වීමට සිදුවීම කණගාටුවට කරුණක්. තමන්ට කැමති කැටගරියකට පාඨකයාට කෙලින්ම යාහැකි නිසා බ්ලොග් ලියන්නන්ට ඇතිවියහැකි පාඩුව අවමයි.
    • දේශපාලන බ්ලොග් මුල්පිටුවෙන් ඉවත් කිරීම පිලිබදව වැරදි වටහාගැනීම් අනවශ්‍යයි. දේශපාලන අඩවි කියවන පාඨකයන් විශාල ප්‍රමාණයක් සින්ඩියට දිනපතා එනවා. එම අඩවි කියවීමට අවශ්‍යනම් අදාල කැටගරියට යෑම පමණයි කල යුත්තේ. මේ කරුණ හොදින් දන්නා නිසාමයි එම කැටගරියට අදාල ලින්ක් එක පැහැදිලිව පෙනෙන ලෙස සකසා තිබෙනේ.
  • බ්ලොග් අඩවි සින්ඩියට එකතු කිරීමට ඇති පමාව
    • දැනට දිනපතා සින්ඩියට නව බ්ලොග් අඩවි 10-20 අතර ප්‍රමාණයක් එකතු කිරීමට ඉල්ලුම් කෙරෙනවා. මේ සියලු බ්ලොග් අඩවි වෙත ගොස් සින්ඩියට සුදුසු බ්ලොග් අඩවි පමණක් එකතු කිරීම යම් කාලයක් වැයවෙන කටයුත්තක්. සින්ඩියේ බ්ලොග් අඩවි වල ගුණාත්මකබව හැකිතරම් ආරක්‍ෂා කිරීමට සිදුවන නිසා සැලකියයුතු වේලාවක් නව බ්ලොග් අඩවි පරීක්‍ෂාකිරීමට ගතවෙනවා.
විසදුම්
  • මේ දිනවල බ්ලොග් අඩවි එකතුකිරීමේ පමාව යම්තාක්දුරට හෝ අඩුකරගැනීමට ක්‍රමයක් සැකසෙමින් පවතිනවා.
  • දැනට සින්ඩිය සදහා පාවිච්චි කරන වෙබ් වැඩසටහනේ අඩුපාඩු සහ සර්වර් සදහා වැයවන අධික වියදම අවම කර ගැනීමට නව සින්ඩි වැඩසටහනක් සාදමින් පවතිනවා.
  • බ්ලොග් වර්ගීකරණය කිරීමේදී බ්ලොග් වශයෙන් වර්ගීකරණය නොකර ලිපි වශයෙන් වර්ගීකරණය කිරීමට ප්‍රායෝගික ක්‍රමයක් තවම නැහැ. බ්ලොග් ලියන්නන් සම්මත කැටගරි ක්‍රමයකට ලිපි ලියනවා නම් මෙයට විසදුමක් සොයාගැනීම පහසු වේවි. නමුත් මෙය ප්‍රායෝගික නැති බව වැටහෙනවා.
සින්ඩිය සදහා නව අදහස් හෝ විසදුම් admin[at]sinhalabloggers[.]com වෙත එවන්න.
පසුගිය මැතිවරණයේදී මඩ ප්‍රචාර, බොරු ප්‍රචාර සදහා සමහර බ්ලොග් ලියන්නන් සින්ඩිය පාවිච්චි කිරීම කණගාටුවට කරුණක්. මෙවැනි දේ නිසා සින්ඩියේ පැවැත්මට පවා බලපෑම් ඇතිවන්න පුලුවන්.
බ්ලොග් ලියන සහෘදයන්ගෙන් ඉල්ලා සිටින්නේ සින්ඩියෙන් ප්‍රයෝජන ලබාගන්නා අතරම සින්ඩියේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන ලෙසයි.

Thursday, November 26, 2009

හැම පරිගණකයකම වගේ තියෙන සෙල්ලමක්

ඔන්න කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තේ ආවෙ. අද මට ලියන්න හිතුනා ගේම් එකක් ගැන. මම බ්ලොග් එක පටන් ගනිද්දිම හිතාගෙන හිටියෙ ගේම් ගැන ලියන්න. හැබැයි වෙන වෙන දේවල් තමයි මෙච්චර කල් ලියල තියෙන්නෙ. මේ කියන පරිගණක සෙල්ලම පෙර නියමයෙන්ම හුගක් පරිගණක වල තියෙනවා. ඒ කියන්නේ අමුතුවෙන් ස්ථාපන කරන්න අවශ්‍ය නෑ. වින්ඩෝස් වල නම් තියෙන්නේ Minesweeper කියලා. උබුන්ටු වල මේකම තියෙනවා Mines කියලා. Windows වල නම් Start -> All Programs -> Games -> Minesweeper Ubuntu වල නම් Applications -> Games -> Mines හුගක් අය කම්පියුටරෙන් කාඩ් ගේම් සෙල්ලම් කරත් බිම්බෝම්බ හොයන මේ සෙල්ලම කරන්න කැමති නෑ. ලොකුම හේතුව තමයි මේක තේරෙන්නේ නැති කම. සමහරු හිතන්නේ මේක කණාවට ගහන එකක් කියලා. මම කියන්නම් සෙල්ලම කරන හැටි. හරිම සරලයි. ගේම් එකේ මූලික අරමුණ තමයි අඩුම වේලාවකින් බිම්බෝම්බ සියල්ල සොයාගැනීම. මුලින්ම අලුතෙන් ගේම් එක පටන් ගත්තහම එන්නේ පහලින් තියන වගේ වින්ඩෝ එකක්. මම මේක ගත්තේ wndows 7 වලින්. windows xp වල පෙනුම ටිකක් වෙනස්. හැබැයි සෙල්ලම් කරන විදිහේ කිසිම වෙනසක් නැහැ.
මේකෙ තියෙන කොටු වලින් සමහර කොටු වල බිම්බෝම්බ තියෙන්න පුලුවන්. මේ කොටු ටික තමයි අපිට හොයාගන්න තියෙන්නේ. කොහෙන් හරි පටන් ගන්න එපැයි. බය වෙන්න දෙයක් නෑ. පලවෙනියටම ඔබන කොටුවේ බෝම්බ නෑ. ඒක නිසා කැමති කොටුවක් ඔබලා පටන් ගන්න පුලුවන්.
හොඩක් වෙලාවට පලවෙනි ක්ලික් එකෙන් කොටු එකකට වඩා ඇරෙනවා. ඒක නිසා වැඩේ ලේසියි. හැබැයි හදිස්සියෙන් පහල රූපය වගේ අවස්ථාවක් ආවොත් ආපහු වෙන තැනක කොටුවක් ඔබලා බලන්න වෙනවා.
ඔන්න දැන් පොටක් පෑදිලා තියෙනේ බිම්බෝම්බ හොයන්න. පහල රූපය බලන්න.
මම රවුම් කරල තියෙන තැන තියෙන්නේ 1 ඉලක්කම.
මේකෙන් කියන්නේ රවුම් කරපු කොටුව වටේට තියෙන කොටු 8න් එකක අනිවාරයෙන් බෝම්බයක් තියෙනවා කියලා.
දැනටමත් විවෘත කරන්න ඉතුරු වෙලා තියෙන්නේ එක කොටුවයි. (5 වැනි කොටුව) ඒ නිසා ඒ කොටුවේ අනිවාරයෙන්ම බිම්බෝම්බයක් තිබිය යුතුයි.
ඒ කොටුව right click කිරීමෙන් බෝම්බයක් තිබෙන බවට සලකුණු කරන්න පුලුවන්. මේ විදිහට සලකුණු කිරීම අනිවාර්‍ය නැහැ. ඒත් අපේ පහසුව සදහා සලකුණු කරගන්න පුලුවන්.
දැන් අපි බලමු ඒ ලගම තියන අනිත් 1 ඉලක්කම. ඒ වටේත් ඇති කොටු 8 විවෘත කර නැත්තේ එක කොටුවයි (5 වැනි කොටුව). එනිසා මෙහි බිම්බෝම්බයක් තිබිය යුතුයි.
ඊලගට රතුපාටින් රවුම් කර ඇති 2 ඉලක්කම. එහි අදහස 2 ඉලක්කම වටා ඇති කොටු 8න් කොටු දෙකක බිම්බෝම්බ ඇති බව. දැනටමත් රතු පාටින් දක්වා ඇති 4 සහ 6 කොටුවල බිම්බෝම්බ තිබෙන බව අපි දන්නවා. එනිසා රතු පාටින් දක්වා ඇති 5 වෙනි කොටුවේ බෝම්බයක් තිබෙන්න විදිහක් නැහැ. ඊට හේතුව 2 ඉලක්කම වටා තිබෙන්න පුලුවන් බෝම්බ ගණන 2 පමණක් වීමයි.
මේ ආකාරයටම රූපයේ 1 ඉලක්කම වටා බෝම්බ තිබිය හැක්කේ 1ක් පමණයි. දැනටමත් 4 කොටුවේ බෝම්බයක් තිබෙන බව දන්නා නිසා 5 කොටුවේ බෝම්බ තිබෙන්න බැහැ.
රූපයේ පෙනෙන විදිහට අවස්ථාවක් ආවොත් රවුම් කර ඇති 2 ඉලක්කමට සාපේක්ෂව 4 හෝ 5 කොටු ව්ල බෝම්බ තිබිය හැකියි. මෙවැනි වේලාවක අපිට හරි කොටුව තෝරාගන්න බැහැ. ඒ නිසා වෙන මුල්ලකින් බෝම්බ සෙවීම පටන් ගන්න වෙනවා. පසුව මෙතැන විසදීමට හැකි වේවි.
මම හිතනවා දැන් සෙල්ලම නොතේරුන අයට තේරෙන්න ඇති කියලා. ඉක්මනින් කල්පනා කරලා ඉක්මනින් තීරණ අරගෙන බෝමබ ඔක්කොම අඩුම කාලයකින් සෙවීම තමයි අබියෝගය. බෝමබ සෙවීමට ගිය වෙලාව ප්‍රතිචාරයක් විදිහට සටහන් කරන්න!

Tuesday, September 29, 2009

බණ අහන හැටි

බණ ගෙදරකදි ජංගම දුරකතනයේ ශබ්දය ක්‍රියා විරහිත කරන්න නොදන්න අයට..

ජංගම දුරකතනයේ # බොත්තම තත්පර කිහිපයක් තදකරන්න.

නැතිනම් phone settings වෙත ගොස් එහි profile මෙනුවෙන් silent තෝරන්න

Tuesday, August 18, 2009

ගූගල් ක්‍රෝම් Bookmarks

ඔන්න මම කාලයක ඉදන් බලාගෙන හිටපු දෙයක් අලුත් ක්‍රෝම් 4.0 න් ඇවිත්. ඒ තමයි ගූගල් ක්‍රෝම් එකට ගූගල් බුක්මාර්ක් එකතු කරන එක. අනිකුත් බ්‍රවුසර වල ගූගල් ටූල්බාර් හරහා බුක්මාර්ක් ඕනම තැනක ඉදන් පාවිච්චි කරන්න පුලුවන්කම තිබුනත් ක්‍රෝම් හි මෙම පහසුකම මෙතෙක් තිබුනේ නැහැ.

මෙහෙමයි වැඩේ කරන්නේ.

මුලින්ම ක්‍රෝම් dev channel එකට මාරු වෙන්න වෙනවා. මොකද ඒකට තමයි 4.0 එක දැනට ඇවිත් තියෙනේ. මේක development channel එක වුනත් සෑහෙන්න stable. බොහොම කලාතුරකින් තමයි ප්‍රශ්නයක් ඇතිවෙනේ. එහෙම වුනත් පැය කීපයක් ඇතුලත නැවත යථා තත්වයට පත් කරනවා. Google Chrome Channel Changer වෙත ගිහින් බාගත කරගෙන dev channel එකට මාරු වෙන්න. ඉන්පසු ක්‍රෝම් වල ස්පැනර් එක -> About Google Chrome වෙත ගියාම ඔබට පෙනෙයි updates බාගත කරන හැටි.

දැන් ගුගල් ක්‍රෝම් අයිකන් එකේ properties ගිහින් target කොටුවේ chrome.exe එකට පසු --enable-sync යොදා ගුගල් ක්‍රෝම් විවෘත කරන්න.

දැන් ස්පැනර් එක -> Import BOokmarks & Settings වෙත ගියවිට එන popup එකේ dropdown මෙනුවෙන් Google Toolbar තෝරා Import ඔබන්න.

දැන් ක්‍රෝම් වල බුක්මාර්ක් ටූල්බාර් එකේ Other Bookmarks තුලට Google Bookmarks import වී ඇති.

Wednesday, April 1, 2009

css සිංහලෙන්

ෆයර්ෆොක්‌ස්‌ 3.0 සහ IE 8 නිකුතුවට පසු css සදහා සිංහල unicode සහයොගීතාව ලබා දුන්නා. මෙය අපේ රටේ වෙබ් අඩවි නිර්මාණකරුවන්ට විශාල ජයග්‍රහනයක්‌. මම අද පෙන්වන්නම් css සදහා සිංහල unicode යොදාගන්න ආකාරය.

සාමාන්‍ය ආකාරයටම html යොදාගන්න පුලුවන්.

උදා:

<div id="හිස"> 
    හිස සදහා
</div>
<div id="බඳ">
    බඳ සදහා
</div>
<div id="පාදය">
    පාදය සදහා
</div>

අපි දන් සිංහලෙන් css එක ලියමු

#හිස { 
   අකුරු වර්ණය: රතු; 
   උස: පික්‌සල 100;  
   පසුබිම් වර්ණය : ලා නිල්;
   අකුරු ප්‍රමාණය : විශාල;
} 
#බඳ {
   අකුරු වර්ණය: රතු;    
   පසුබිම් වර්ණය : ලා අලු; 
} 
#පාදය {
   අකුරු ප්‍රමාණය : කුඩා;
} 

ඔබත් පාවිච්චි කර බලන්න. තවත් වෙබ් අඩවි නිර්මාණකරණය පිලිබද තොරතුරු රැගෙන ලගදීම එන්නම්.

Happy April Fools Day!

Wednesday, March 11, 2009

Windows 7 වල මම කැමති දේ

ඉදිරියේදි නිකුත් වීමට නියමිත අලුත්ම Windows වෙලුම තමයි Windows 7. අගෝස්‌තු පලවෙනිදා වෙනකන් beta සංස්‌කරනය නොමිලේ පාවිච්චි කරන්න පුලුවන් නිසා මටත් හිතුනා උත්සාහ කර බලන්න. දැනට මාසයක්‌ විතර සැහෙන්න හොඳින් වැඩ කල නිසා මේ ගැන බ්ලොග් සටහනක්‌ ලියන්න අදහස්‌ කලේ.

ඇත්තටම Windows 7 beta තත්ත්වයේ තවම තිබුනත් Windows Vista වලට වඩා ගොඩක්‌ ස්‌ථායී(stable). මම පාවිච්චි කල කාලය අතරතුර එක වරක්‌ වත් stuck උනේ නැහැ.System resources පාවිච්චියත් සතුටුදායක මට්‌ටමක තියෙනවා. මම ස්‌තාපනය කල පරිගණකය සාමාන්‍ය core 2 duo processor සහ 2GB RAM සහිත Onboard Graphics ඇති එකක්‌. මට දැනගන්න ලැබුනා අඩු RAM ප්‍රමාණ වලත් Windows 7 හොදින් ක්‍රියා කරන බව.

Windows 7 වල ඉතා සිත්ගන්නාසුලු අංග රාශියක්‌ තිබෙනවා. මම ඒවා තිරපිටපත් සමග ඉදිරිපත් කරන්නම්.

windows 7 desktopWindows 7 Desktop

මම Windows 7 වල වඩාත්ම කැමති අංගය එහි task bar එකයි. වැඩි ඉඩක්‌ ගන්නේ නැතිව ඉතාමත් පහසුවෙන් පාවිච්චි කල හැකි task bar එකක්‌ windows 7 සතුව තිබෙනවා. එහි අපි නිතර පාවිච්චි කරන වැඩසටහන් වල shortcut තබාගන්න පුලුවන්. ඒ වගේම දැනට විවෘත වැඩසටහන් පෙන්වන්නේත් එතැනමයි.

windows 7 taskbarWindows 7 Taskbar

වැඩසටහනක කලින් වැඩ කල පිටුවක්‌ විවෘත කරන්න අවශ්‍යනම් කල යුත්තේ එම අයිකන කිරීම පමණයි. එහිදී මතුවන මෙනු එකෙන් අපි කලින් වැඩකරමින් සිටි ගොනු පෙන්වනවා.

windows 7 taskbarWindows 7 Taskbar

Taskbar එකේ icon mouseover කරද්දී දැනට විවෘතව ඇති windows පෙන්වනවා.

windows 7 taskbarWindows 7 Taskbar

Windows 7 වල තවත් වැදගත් අංගයක්‌ තමයි Notification Icon Manager එක. මෙයින් System Tray එකේ එන කුඩා අයිකන පාලනය කරන්න පුලුවන්.

windows 7 taskbarWindows 7 Taskbar

මම මේ කිව්වේ User Interface එක අතින් windows 7 වල මම කැමති දේ. Backend ගැන ඉදිරි post එකක කතා කරමු!

Friday, February 13, 2009

ලෝක විනාශයද ? හික්‌

ඔන්න ජීවිතේටම එක වතාවක්‌ වෙන සිද්දියක්‌ තව ටික වෙලාවකින් වෙනවා.

ඒ තමයි unix time එක 1234567890 ලෙස සටහන වීම.

මොකද්ද මේ unix time..

Unix time යනු 1970 ජනවාරි මස පලමුවැනිදා සිට ගතවූ තත්පර ගනන වේලාව ලෙස දක්‌වන ක්‍රමයයි. කොටින්ම කියනවා නම් පරිගනකය වේලාව බලන්නෙ unix time එකෙන්.

1970 ජනවාරි මස පලමුවැනිදා සිට තත්පර 1234567890 ගත වීමට තව වැඩි වේලාවක්‌ නැහැ :).

countdown

Monday, February 9, 2009

Techකතා - ටෙක්‌නොලොජි සිංහලෙන් !

කාලයක ඉදන් හිතේ තිබ්බ අදහසක්‌ ඔන්න අපේ කට්‌ටිය එකතු වෙලා ක්‍රියාත්මක කෙරුව :). Techකතා. ටෙක්‌නොලොජි ගැන සිංහලෙන් කතා කරන අපි කාගෙත් වෙබ් අඩවියයි මේ!

techkatha.com

මේක අපි කරන්නේ podcast එකක්‌ විදිහට. ඕනම කෙනෙක්‌ට තමන්ට මුහුනපාන්න සිද්ද වෙච්ච ටෙක්‌ ගැටලු ඉදිරිපත් කරන්න පුලුවන්. ගැටලු ඉදිරිපත් කිරීමේදී http://techkatha.com/contact/ හි ඇති ෆෝරමය එවීම, info(at)techkatha(dot)com වෙත පනිවුඩයක්‌ එවීම හෝ skype මගින් කතාකර ගැටලුව ඔබේ කටහදින්ම ඉදිරිපත් කිරීම කරන්න පුලුවන්. අපි හැම සතියකටම වරක්‌ එනවා ඒ ගැටලුවලට පිලිතුරු සහ තවත් විශේශාංග සමගින්.

දැනට අපි වැඩසටහන් තුනක්‌ම පලකරා නේ. ප්‍රතිචාර නම් උපරිමයි. ඉදිරියටත් හැකි උපරිම ලෙස වැදසටහන කර ගෙන යෑමට උත්සාහ කරනවා! නොවරදවා අහන්න :)

Thursday, December 18, 2008

Google Search එකෙන් වැඩ ගමු

Google Search එකෙන් වෙබ් පිටු සෙවුමට වඩා වැඩ රාශියක්‌ කරගන්න පුලුවන් නේ. මම අද හදන්නෙ ඉන් කිහිපයක්‌ ගැන කියන්නයි.

Google එකෙන් ගණන් හදමු

Google search එකෙන් පහසුවෙන්ම ගනන් හදන්න පුලුවන්. අවශ්‍ය ගාන සෙවුම් කොටුවේ ඇතුල්කර search බොත්තම ඔබන්න.

උදා - 5 x 5 සදහා සෙවුම් කොටුවේ 5*5 ඇතුල් කර සොයන්න.

google calc

විනිමය අනුපාත

ඇමරිකානු ඩොලර් 50 ක්‌ ලංකා රුපියල් වලින් කීයද? යන්න google, සොයන්න මේ විදිහට - 50 USD in LKR

google exchange rates

සින්දු ලේසියෙන් හොයමු!

හදිස්‌සියට සින්දුවක්‌ හොයාගන්න ගූගල් සෙවුම් පිටු අස්‌සෙ සාමාන්‍ය විදිහට සොයලා කාලෙ කන්න ඕන නැහැ. ලේසියෙන්ම හොයාගන්න පුලුවන් මේ විදිහට හෙව්වොත්. සෙවුම් කොටුවේ මේ විදිහට සොයන්න intitle:index.of mp3 songtitle උදාහරනයක්‌ ලෙස Metallica ගෙ nothing else matters සොයමු. පහත රූපයේ පරිදි සෙවිය යුතුයි.

search songs

එන සෙවුම් ප්‍රතිඵල වලින් පලමු එකට ගිහින් බලමු.

search songs

ඔන්න අපිට පේනවා ඇපාචි ඩිරෙක්‌ටරි ලිස්‌ටින් ඉවත් නොකල වෙබ් ගොනුවක්‌. මෙයින් අවශ්‍ය සින්දුව ක්‌ලික්‌ කල පසු එය පරිගනකයට භාගත වේවි.

වෙලාව බලන්න

වේලව බලන්න මෙලෙස හොයන්න. what time is it 'city name'. උදා - what time is it new york

time

රටක ප්‍රධාන නගර වල වේලාවන් බලන්න අවශ්‍ය නම් what time is it සමග රට ඇතුල් කරන්න.

time

Friday, December 12, 2008

jQuery | sidemenu එකක්‌ හදමු

ඔන්න ආපහු ආවා jQuery එක්‌ක. අද බලමු තවත් මෙනු එකක්‌ කොහොමද හදන්නෙ කියලා. මේකට මම භවිතා කරන්නේ next() . next() මගින් අපිට යම් element එකක ඊලගට ඇති element එක ගන්න පුලුවන්.

jquery menu

මුලින්ම අපි html list එකක්‌ මගින් මෙනු එකෙහි සැකැස්‌ම හදමු.

<ul id="nav">
    <li><a class="main" href="#">Home</a>
     <ul>
         <li><a href="#">my blog</a></li>
            <li><a href="#">my facebook profile</a></li>
            <li><a href="#">my website</a></li>
        </ul>
    </li>
    <li><a class="main" href="#">SBU</a>
     <ul>
         <li><a href="#">Sinhala Bloggers Union</a></li>
            <li><a href="#">Sinhala Blog Reader</a></li>
            <li><a href="#">MyBlog.lk</a></li>
            <li><a href="#">Sinhala Blogs Facebook App</a></li>
        </ul>
    </li>
    <li><a class="main" href="#">Links</a>
  <ul>
            <li><a href="#">google</a></li>
            <li><a href="#">youtube</a></li>
            <li><a href="#">facebook</a></li>
  </ul>
    </li>
    <li><a class="main" href="#">About Me</a></li>
    <li><a class="main" href="#">Contact</a></li>
</ul>

දැන් එය මෙසේ දිස්‌වේවී. දැන් අපේ මෙනු එක css මගින් style කරන්න වෙලාව.

පිටුවේ ඇති සියලුම element වල padding සහ margin, 0 කිරීම සදහා css ගොනුවට * { margin:0; padding0; } කේතය අතුල් කරනවා. ඉන් පසු ul (unordered list) එකෙහි li (list item) වල bullet එක ඉවත් කිරීමට සහ එක li තුල ඉඩ ලබා දීමට li { list-style:none; line-height:36px; display:inline; } ලෙස යොදනවා. menu එකෙහි ප්‍රමානය රඳවා ගැනීමට මම wrapper div එකක්‌ තුලට menu list එක දමා තිබෙනවා. එහි පලල 350px ලෙස දෙමු.

* { 
    margin:0; 
    padding:0; 
}

li { 
    list-style:none; 
    line-height:36px;  
    display:inline; 
}

#wrapper { 
    width:350px; 
    margin:30px 0 0 30px;
}

එලෙසම මෙනු එකෙහි ලින්ක්‌ සදහා css style ලබා දෙමු.

#nav li a, #nav li a:visited { 
    display:block; 
    color:#fff; 
    text-decoration:none; 
    padding-left:15px; 
    font-family:Georgia, "Times New Roman", Times, serif; 
    font-style:italic; 
    font-size:22px; 
    border-bottom:1px solid #fff; 
    background:#3b5998 url(arrow.gif) top right no-repeat; 
}
#nav li a:hover, a.active_link { 
    background-position:bottom right!important; 
}

#nav li ul li a, #nav li ul li a:visited { 
    font-weight:normal!important; 
    color:#3b5998!important; 
    background:#d8dfea!important; 
}
#nav li ul li a:hover { 
    background:#c6d5ed!important; 
}

මෙහි ලින්ක්‌ එකේ පසුබිම් රූපයක්‌ ලෙස මම කුඩා ඊතලයක රූපයක්‌ photoshop මගින් සාදා ගත්තා. පහත ආකාරයට එම රූපයේ ඉහල කොටසින් ලින්ක්‌ එකෙහි සාමාන්‍ය පෙනුමත් පහල කොටසින් ලින්ක්‌ එක hover කල පසු පෙනුමත් දැක්‌වෙන ලෙස රූපය සාදාගෙන තිබෙනවා.css මගින් ලින්ක්‌ hover එක කල විට පසුබිම් රූපයේ පිහිටීම වෙනස්‌ කිරීමෙන් අපිට මෙනු එකෙහි දැක්‌වෙන ආකාරයේ effect එක ලබාගන්නට පුලුවන්.

menu background arrow

දැන් අපේ මෙනු එක css style සමග මෙසේ පෙනේවි.

සම්පූර්ණ css කේතය
* { 
    margin:0; 
    padding:0;
}

#wrapper {  
    width:350px;  
    margin:30px 0 0 30px; 
}

li {  
    list-style:none;  
    line-height:36px;
    display:inline;
}

#nav li a, #nav li a:visited {  
    display:block;  
    color:#fff;  
    text-decoration:none;  
    padding-left:15px;  
    font-family:Georgia, "Times New Roman", Times, serif;  
    font-style:italic;  
    font-size:22px;  
    border-bottom:1px solid #fff;  
    background:#3b5998 url(arrow.gif) top right no-repeat; 
}

#nav li a:hover, a.active_link {  
    background-position:bottom right!important; 
}

#nav li ul li a, #nav li ul li a:visited {  
    font-weight:normal!important;  
    color:#3b5998!important;  
    background:#d8dfea!important; 
}

#nav li ul li a:hover {  
    background:#c6d5ed!important; 
}

දැන් අපි jquery මගින් මෙනු එකට සජීවී බවක්‌ එකතු කරමු. ප්‍රථමයෙන් jquery ගොනුව ඔබේ පිටුවට එකතු කරගන්න. නවතම ගොනුව jquery.com වෙතින් ලබා ගන්නට පුලුවන්.

$(document).ready(function(){
    $('#nav li ul').hide();
    $('#nav li a.main').click(function(){
        $('#nav li ul:visible').slideUp('normal');
        $('.active_link').removeClass('active_link');
        $(this).addClass('active_link').next().slideDown('slow');
    });
});

මුලින්ම අපි sub menu සගවමු. මේ සදහා document ready function හි $('#nav li ul') මගින් #nav හි සියලු li තුල ඇති ul ලබාගෙන (එනම් sub menu), hide() මගින් ඒවා සැගවිය හැකියි.

ඉන්පසු මෙනු එකෙහි main class එක සහිත සියලු ලින්ක්‌ සඳහා click function එකක් යොදනවා.එ තුල මුලින්ම කර ඇත්තේ දැනටමත් sub menu විවෘතව ඇත්ද යන්න බැලීමයි. විවෘතව ඇත්නම් ඒවා slide up වෙනවා. මෙහි active_link class එක භාවිතා කරන්නේ ලින්ක්‌ එකෙහි පසුබිම් රූපය වන ඊතලය වෙනස්‌ කිරීම සදහායි. active link class එක ලින්ක්‌ එකට යෙදූ විට ඊතලය පහලට යොමුවී තිබෙන අතර active link class එක ලින්ක්‌ එකේ නැති විට ඊතලය දකුණට යොමු වෙනවා.

අවසාන පේලියෙන් කියන්නේ ඔබ ක්‌ලික්‌ කල ලින්ක්‌ එකට ($(this)), active_link class එක එකතු කරන ලෙසත් ඉන් පසු එම ලින්ක්‌ එකට පසුව ඊලගට ඇති element එක වන sub menu එක slide down කරන ලෙසයි.

අවසාන ප්‍රතිඵලය මෙසේ දිස්‌වේවි.

Thursday, November 27, 2008

facebook app | සිංහල බ්ලොග් කියවනය

දැන් කාගෙ කාගෙත් කාලය වැඩියෙන් වැය කරන්නෙ facebook එකේ නේ. ඔන්න ඒක නිසා හැදුව පොඩි facebook application එකක්‌ සිංහල බ්ලොග් කියවනයේ අලුත්ම ලිපි පෙන්වන්න. මේක තාම ප්‍රාථමික මට්‌ටමේ තියෙන්නෙ. දාල ම බලන්න කො. ඉදිරියට තව අංග රාශියක්‌ එකතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

 

http://apps.facebook.com/sinhala_blogs/

 

Sinhala Blogs

 

අවශ්‍ය නම් මෙය 'profile tab' ලෙස එකතු කරන්නත් පුලුවන්. ඉහත සබැඳියට පිවිසීමෙන් පසු ඔබේ 'profile' එකට ගොස්‌ එහි ඇති (+) ලකුන ඔබා එන සෙවුම තුල 'sinhala blogs' සොයන්න.

 

Sinhala Blogs

Wednesday, November 26, 2008

jQuery | Contact From එකක්‌ හදමු

වෙබ් අඩවියක වැදගත් අංගයක්‌ නේ contact form එක. අපි අද බලමු කොහොමද jquery/php/ajax භාවිතයෙන් එකක්‌ හදන්නෙ කියලා. හුගක්‌ වෙබ් අඩවි වල මේ පිලිබඳ සටහන් තිබුනත්, සිංහලෙන් වැඩි විස්‌තර නැති නිසා මම හිතුවා මේ ගැන ලියන්න.

අවසාන ප්‍රතිඵලය මුලින්ම බලලම ඉමු. කිසිම කොටුවක්‌ සම්පූර්ණ නොකර send බොත්තම ඔබා බලන්න. මෙහි fileds පුරවන්නෙ නැතිව send බොත්තම එබුවොත් පනිවුඩයක්‌ දිස්‌ වෙනවා එම fields සම්පූර්ණ කරන ලෙස ඉල්ලමින්. නැවත එම fields සම්පූර්ණ කල පසු පමනයි form එක submit වන්නේ.

අපි form layout එකෙන් පටන්ගමු.

html
<div id="wrapper">
 <h1>Contact Form</h1>
    <ul id="response">
     <li class="process">Processing..</li>
    </ul>
 <form method="post" action="send.php">
     <label for="name">Name</label>
        <input type="text" name="name" id="name" />
        <label for="email">Email</label>
        <input type="text" name="email" id="email" />
        <label for="message">Message</label>
        <textarea id="message" name="message" cols="20" rows="5"></textarea>
        <input type="button" value="send" id="send" name="submit" />
    </form>
</div>
css
* {
 padding:0; 
 margin:0;
}

body { 
 font-family:Verdana, Arial, Helvetica, sans-serif; 
 font-size:12px; 
 padding-top:30px; 
}

#wrapper { 
 width:500px; 
 margin:0 auto; 
 padding:20px; 
 background:#f9f9f9; 
 border:1px solid #ddd; 
}

label { 
 display:block; 
 padding:10px 0 5px; 
}

input, textarea { 
 width:490px; 
 border:1px solid #ddd!important; 
 padding:5px!important; 
}

input#send { 
 margin-top:15px; 
 width:100px; 
 text-align:center; 
 font-weight:bold; 
 background:#ddd; 
}

ul#response { 
 list-style-position:inside; 
 padding:20px 0 10px; 
}

ul#response li { 
 color:#c00; 
}

.sent { 
 color:#090!important; 
 list-style:none; 
}

jQuery

jquery.com වෙබ් අඩවියෙන් අලුත්ම jQuery ගොනුව ලබාගෙන ඔබේ පිටුවට link කරගන්න. මෙම form එක සඳහා අපි jquery හි ajax යෙදුම භාවිතා කරනවා. එය කරන්නෙ මෙහෙමයි. පහතින් පේලියෙන් පේලිය විස්‌තර කරන්නම්.

$(document).ready(function(){
  $('.process').hide();
  $('#send').click(function(){
    $('.process').fadeIn('fast');
      var name = $('#name').val();
      var email = $('#email').val();
      var message = $('#message').val();      
      $.ajax({
        type: 'post',
        url: 'send.php',
        data: 'name=' + name + '&email=' + email + '&message=' + message,
        success: function(msg{
          $('.process').fadeOut(1000);    
          $('#response').html(msg);
        }
      });
  });
});

පලවන පේලියෙන් සුපුරුදු පරිදි ආරම්භ වීමට ප්‍රථම පිටුව පූරණය වන තෙක්‌ සිටිනවා.

දෙවන පේලියෙන් කරන්නේ අපේ තාවකාලික පනිවිඩය ෆෝරමයේ send බොත්තම ඔබන තෙක්‌ සගවා තබා ගැන්ම.

තුන් වන පේලියේදී #send id එක සහිත send බොත්තම සදහා click function එකක්‌ යොදනවා. එනම් බොත්තම එබූ පසු එම වරහන් තුල ඇති කේතය (4 සිට 16 දක්‌වා පේලි) ක්‍රියත්මක වෙනවා.

හතරවන පේලියෙන් තාවකාලික පනිවිඩය පෙන්වනවා.

5, 6, 7 පේලි මගින් භාවිතයේ පහසුව සදහා අදාල id සහිත input සහ textarea වෙතින් එන අගයන් (values) විචල්‍යන්ට දමා ගන්නවා.

8 - 16 පේලි ajax post එක සදහායි. මෙහි මම භාවිතා කරන සැකසුම කොටස්‌ හතරකින් සමන්විතයි.type - යවන ආකාරය, url - යවන්නේ කුමන ගොනුවටද, data - යවන දත්තයන් සහ success - ලැබෙන ප්‍රතිචාරය එම කොටස්‌ හතරයි.

මෙහිදී මම ඊමේල් පනිවිඩය යෑවීමට 'phpMailer' නමැති නොමිලේ ලබාගත හැකි php class එක පාවිච්චි කරනවා. ඔබේ සර්වරයේ php version එකට ගැලපෙන ගොනුව phpMailer වෙතින් ලබාගන්නට පුලුවන්.

එම phpMailer ෆෝල්ඩරයත් ඔබේ contact form එක ඇති ෆෝල්ඩරය තුලටම දමන්න.

දැන් ඇත්තේ send.php ගොනුව php මගින් සාදා ගැනීමයි. මෙය ඉතා පහසුවෙන් phpMailer හි example ගිනු පිරික්‌සීමෙන් සාදාගන්නට පුලුවන්. අපේ contact form එක සඳහා සරල validation සහිත send.php ගොනුවක්‌ පහත පරිදි ලියන්න පුලුවන්.

<?php
 
 $name = trim($_POST['name']);
 $email = $_POST['email'];
 $message = $_POST['message'];
 
 $site_owners_email = 'youremail@email.com'; // ඔබේ ඊමේල් ලිපිනය යොදන්න 
 $site_owners_name = 'your name'; // ඔබේ නම යොදන්න 
 
 if (strlen($name) < 2) {
  $error['name'] = "Please enter your name"; 
 }
 
 if (!preg_match('/^[a-z0-9&\'\.\-_\+]+@[a-z0-9\-]+\.([a-z0-9\-]+\.)*+[a-z]{2}/is', $email)) {
  $error['email'] = "Please enter a valid email address"; 
 }
 
 if (strlen($message) < 3) {
  $error['message'] = "Please leave a comment.";
 }
 
 if (!$error) {
  
  require_once('phpMailer/class.phpmailer.php');
  $mail = new PHPMailer();
  
  $mail->From = $email;
  $mail->FromName = $name;
  $mail->Subject = "Website Contact Form";
  $mail->AddAddress($site_owners_email, $site_owners_name);
  $mail->Body = $message;
    
  $mail->Send();
  
  echo "<li class='sent'>Thank You " . $name . ". We recived your message.</li>";
  
 }
 else {

  $response = (isset($error['name'])) ? "<li>" . $error['name'] . "</li> \n" : null;
  $response .= (isset($error['email'])) ? "<li>" . $error['email'] . "</li> \n" : null;
  $response .= (isset($error['message'])) ? "<li>" . $error['message'] . "</li>" : null;
  
  echo $response;
 }

?>

දැන් සියල්ල සූදානම්. ගැටලු ඇත්නම් comment මගින් විමසන්න.

සම්පූර්ණ කේතය මෙතනින් ගන්න

Sunday, November 9, 2008

'මචං' එල මචන්

මරු මූවි එක මචන්.. කාලෙකින් බැලුවෙ හොද සිංහල චිත්තරපටියක්‌.. ෆිල්ම්හෝල් එකෙන් එලියට එද්දි කාගෙත් මූනු හිනාවෙන් පිරිලා..

Monday, October 27, 2008

jQuery | සරල jQuery වැඩ කිඩ

ඔන්න අපේ මලින්ත මලයත් දෙතුන් පාරක්‌ ම මතක්‌ කරපු නිසා හිතුන අද පොඩි jQuery වැඩ කෑලි ටිකක්‌ ලියන්න. jQuery ගැන කෙටි හැදින්වීමක්‌ සහ කෙටි ලිපියක්‌ මීට කලින් මම ලිව්වා. පහත සබැදි වලින් ඒවා බලන්න පුලුවන්.

jQuery javascript එකතුව ගැන කෙටි හැදින්වීමක්‌
jQuery එක්‌ක ලස්‌සන වෙන්න!
ඕනම element එකකට hover effect

අද අපි බලමු slide effect එකක්‌ කරන්නෙ කොහොමද කියලා.

උදාහරණය:

මගේ වෙබ් පිටුවේ ඉහල දකුණු කෙලවරේ contact me, click කර බලන්න. contact ෆෝරමයක්‌ පහලට එනු පෙනේවි. අද අපි හදන්න යන්නේ මීට සමාන දෙයක්‌.

අපි මුලින්ම පිටුවට toggle button එකක්‌ එකතු කරමු. මේ සදහා මම භවිතා කරන්නේ සාමාන්‍ය ලින්ක්‌ එකක්‌. මෙය වරක්‌ එබූ විට my_slide div එක පෙන්වීමටත් නැවත එබූ විට my_slide div එක නොපෙනී යාමටත් සකස්‌ කරමු.

html
<a href="#" class="my_button">show me the slide</a>

<div id="my_slide">
    <div id="container">
        Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit, sed do eiusmod tempor incididunt ut labore et dolore magna aliqua.
    </div>
</div>
css
#my_slide { 
    width:300px; 
    margin-top:20px; 
    background:#CDEB8B; 
    overflow:hidden; 
}

#container { 
    padding:20px; 
}

අලුත්ම jQuery සංස්‌කරණය jQuery.com වෙතින් ලබා ගන්නට පුලුවන්. එය ඔබේ පිටුවට අමුණූ පසු පහත පරිදි කේතය ලියන්න.

javascript
<script type="text/ecmascript">
$(document).ready(function(){
    $('#my_slide').hide();
    $('.my_button').click(function(){
        $('#my_slide').slideToggle('slow');
        return false;
    });
});
</script>

මෙහි $('#my_slide').hide(); මගින් my_slide, div එක සගවනවා. ඉතිරි පේලි වලින් කියන්නේ ලින්ක්‌ එක එබූ පසු my_slide, div එකට ස්‌ලයිඩ් වෙන ලෙසයි.

සබැදිය බලන්න

නැවත හමුවෙමු !

Tuesday, October 21, 2008

css | css කෙටියෙන් ලියමු !

css හිදී සමහර අවස්‌ථා වල අපට පේලි කිහිපයකින් ලියන දෙයක්‌ තනි පේලියකින් ලියන්නට පුලුවන්. මෙහි වාසි කිහිපයක්‌ තියෙනවා. ප්‍රධානම කරුන වන්නේ css ගොනුවේ ප්‍රමාණය (file size) අඩු වීමයි. මෙමගින් වෙබ් පිටු පරිශීලනය කරන විට ගොනු බාගත වීමට යන කාලය සැලකියයුතු ලෙස අඩු වෙනවා. තවත් කරුණක්‌ වන්නේ පසුව ගොනු වෙනස්‌ කිරීමට යාමේදී පහසුවෙන් අදාල අගයන් සොයාගැනීමට ඇති පහසුවයි.

padding

#myelement {
    padding-top:10px;
    padding-bottom:10px;
    padding-left:20px;
    padding-right:20px;
}

මෙම අගයන් හතරම තනි පේලියකින් ලිවිය හැකියි.මෙහි අගයන් යොදන්නේ දක්‍ෂිණාවර්තවයි. පලවෙනි අගය top-padding සදහාත් දෙවැනි අගය right-padding සදහාත් තුන්වෙනි අගය bottom-padding සදහාත් හතරවෙනි අගය left-padding සදහාත් යොදගන්නවා. එනිසා ඉහත පේලි හතර කෙටියෙන් මෙසේ ලියන්න පුලුවන්.

#myelement {
    padding:10px 20px 10px 20px;
}

මෙම උදාහරනයේ top-padding සහ bottom-padding දෙකම එක සමාන අගයක්‌. එලෙසම left-padding සහ right-padding සමාන අගයන්. එනිසා මෙය පහත පරිදි තවත් කෙටියෙන් ලියන්නට පුලුවන්. මෙසේ ලිවේම සදහා එකිනෙකට විරුද්ධ පැති වල අගයන් සමාන විය යුතුයි.

#myelement {
    padding:10px 20px;
}

margin

margin සදහාත් කෙටි ක්‍රම ඉහත padding පරිදිමයි.

#myelement {
    margin:10px 20px 10px 20px;
}

මෙමගින් කියවෙන්නේ top-margin, right-margin, bottom-margin, left-margin සදහා අගයන් පිලිවෙලින් 10px, 20px, 10px 20px වන බවයි.

background (පසුබිම)

#myelement {
    background-color: #356AA0;
    background-image: url("mybackground.jpg");
    background-position: top left;
    background-repeat: no-repeat;
}

background සදහා දීර්ඝ ක්‍රමය මෙවැනියි. මෙහි පසුබිම් වර්ණය, පසුබිම් රූපය, පසුබිම පිහිටවියයුතු ස්‌තානය සහ පසුබිම repeat වෙනවාද යන්න දක්‌වලා තියෙනවා.

එයම කෙටියෙන් මෙලෙස ලියන්න පුලුවන්.

#myelement {
    background:#356AA0 url("mybackground.jpg") no-repeat top left;
}

මේකෙදි මුල්ම අගය වෙන් වන්නේ පසුබිම් වර්නයට..ඊට පසු අගය පසුබිම් රූපය සදහා.. ඉතිරි අගයන් පිලිවෙලින් පසුබිම් රූපය repeat විය යුතු ආකාරය සහ පසුබිම් රුපයේ පිහිටීම පෙන්වනවා. මෙම පිහිටීම පික්‌සල් අගයකින් හෝ ප්‍රතිශතයක්‌ වශයෙනුත් ලබා දෙන්න පුලුවන්. 0 0 යනු ඉහල වම් කෙලවරයි. එලෙසම 0% 0% ඉහල වම් කෙලවරයි.

තවත් කෙටි මං ඉදිරියට !

Wednesday, October 8, 2008

පුලුවන්නම් විසදන්න - දෙවන කොටස

ඔන්න මේ පාර දානව ලේසි එකක්‌. පැල ගැන කතාවක්‌.

කතන්දරය

රුක්‌ රෝපන දිනය දවසෙ මට පැල හතරක්‌ හම්බුනා හිටවන්න. අපේ තාත්තා ගණන් සර්. මට අවිත් කියනවා පුලුවන් නම් ඔය පැල හතර එකිනෙකට සම දුරින් හිටවන්න කියල. මම කල්පනා කරල කරල කරල කරල කොහොමහරි වැඩේ කෙරුව.

four plants

ප්‍රශ්නය

මම කොහොමද පැල හතර එකිනෙකට සම දුරින් පැල කරේ ?

Tuesday, October 7, 2008

පුලුවන්නම් විසදන්න - පලමු කොටස - පිලිතුර

ප්‍රශ්නය

පුලුවන්නම් විසදන්න - පලමු කොටස

පිලිතුර

ඔන්න එහෙනම් මම දාන්නම් උත්තරේ පින්තූරයකුත් එක්‌ක.

math

පෘතුවිය ගෝලාකාරයි. මිනිස්‌සු විවිධාකාරයි. :D. මේ ගැටලුව විසදද්දි පෘතුවියේ ගෝලාකාර බව අනිවාර්යෙන් සැලකිල්ලට ගන්න ඕන. මධ්‍යහ්න රේඛා උතුරු පැත්තට යද්දි ලං වෙනවා. එනිසා රූපයේ පෙනෙන විදිහට ලෙනින්ග්‍රාද් වලට නැගෙනහිර දෙසින් තමයි හෙලිකොප්ටරය ගොඩබාන්නේ. ගොඩ බෑ ස්‌තානයේ සිට ගමන පටන් ගත් තැනට දුර අක්‍ෂාංශ දේශාංශ ඇසුරෙන් සොයන්න පුලුවන් :D
*පින්තූරෙ ගත්තෙ අර මම කියපු වයි. පෙරල්මාන් ගෙ රුසියන් ගනන් පොතෙන්

මුලින්ම නිවැරදි පිලිතුර දුන්නෙ චිරාන් මල්ලිට සුබපැතුම්. පස්‌සෙ නිවැරදි පිලිතුරු දීපු යාලුවන්ටත් මෙන්න සැනසිලි සුබපැතුම්. හික්‌. උත්සාහ කල සැමටත් ස්‌තුතියි.

තවත් ගැටලුවක්‌ ලගදීම බලාපොරොත්තු වන්න!

Monday, October 6, 2008

පුලුවන්නම් විසදන්න - පලමු කොටස

මම පොඩි කාලෙ ඉදන් ආස වැඩක්‌ තමයි ගණිත ගැටලු විසදන එක. අපේ බ්ලොගර් කට්‌ටිය එක්‌කත් බෙදාගන්න හිතුන. මුලින්ම මම අහන්න හදන්නෙ පරන රුසියන් ගණන් පොතක තිබ්බ ප්‍රශ්නයක්.comments වල උත්තරේ දාන්න. කාටවත් බැරි උනොත් ඉතින් මම දානව උත්තරේ හෙට (08).

කතන්දරය

ලෙනින්ග්‍රාද්* වල ඉදලා හෙලිකොප්ටරයක්‌ කෙලින්ම උතුරට කිලෝමීටර 500 ගියා. ඊට පස්‌සෙ නැගෙනහිර දිශාවට හැරිලා තවත් කිලෝමීටර 500 ගියා. ආපසු දකුනු දිශාවට හැරිලා තවත් කිලෝමීටර 500 ගියා. අන්තිමට බස්‌නාහිර දිශාවට කිලෝමීටර 500 ගිහින් ගොඩබෑවා.
* ලෙනින්ග්‍රාද් කියන්නේ රුසියාවේ ශාන්ත පීටර්ස්‌බර්ග් නගරයටමයි

ප්‍රශ්නය

හෙලිකොප්ටරය ගොඩබෑවේ කොහාටද ?